Monday, 5 June 2017

භික්‌ෂුත්වයට බලපාන සතර පාරාජිකා




භික්‌ෂුත්වයට බලපාන සතර පාරාජිකා
-------------------------------------------

බුදුහිමියන් විසින් පනවන ලද විනය නීති ප්‍රාතිමෝක්‌ෂය වශයෙන් හඳුන්වනු ලබයි. සාමණේරයන් වහන්සේලා විසින් රැකිය යුතු සීලය 'සාමණේර ප්‍රාතිමෝක්‌ෂ සංවර සීලය' නමිනුත් උපසම්පදා භික්‌ෂුන් විසින් රැකිය යුතු සීලය භික්‌ෂු ප්‍රාතිමෝක්‌ෂ සංවර සීලය වශයෙනුත්, භික්‌ෂුණීන් විසින් රැකිය යුතු සීලය භික්‌ෂුණි ප්‍රාතිමෝක්‌ෂ සීලය වශයෙනුත් හඳුන්වනු ලබයි. 

01.චක්‌ඛු, 

02.සෝත, 

03.ඝාන, 

04.ජිව්හා,

05.කාය, 

06.මන 

යනුවෙන් රූප, ශබ්ද ආදී අරමුණු ගන්නා ඉන්ද්‍රියයන් සයක්‌ ඇති බව දන්නෙමු. මෙම ඉන්ද්‍රියයන් අරමුණු කරගනු ලබන රූප, ශබ්ද ආදිය පිළිබඳ තෘෂ්ණා, ද්වේෂයන් මුල් කරගෙන පවතින අකුසල් සිදුනොවන පරිදි සිහියෙන් කටයුතු කිරීම ඉන්ද්‍රිය සංවර සීලය යනුවෙන් හඳුන්වයි. ගිහියන් සතුටු කරගෙන ඔවුන්ගෙන් සිව්පසය උදෙසා බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් පිළිකුල් කරන ලද නොගැළපෙන කටයුතුවලින් වැළකීම ආජීව පාරිශුද්ධ ශීලය වශයෙන් හඳුන්වයි.

 * ඇතැම් භික්‌ෂුන් ගිහියන් සතුටු කරනු වස්‌ යම් යම් දෙය දීම,

 * වෙදකම් කිරීම, 

* කේන්ද්‍ර බලා පලාපල කීම 

* ගිහියන් එන විට පෙර මගට ගොස්‌ පිළිගැනීම,

* පසු ගමන් කිරීම, 

* හුනස්‌නෙන් නැගිටීම, 

* බොරු වර්ණනා කිරීම ආදිය කරති. 

මේවා මගින් ප්‍රත්‍ය සහ වෙනත් වරදාන වරප්‍රසාද ලබාගැනීමට ප්‍රයත්න දරයි. මෙය මිත්‍යාජීවය වශයෙන් සැලකේ.

බුදුරදුන් විනය නීති පැනවූයේ අවශ්‍යතාවක්‌ මතු වූ විට පමණි. විනය ශික්‌ෂා පද පැනවීමට හේතු වශයෙන් බුදුන් වහන්සේ හේතු දහයක්‌ දැක්‌වූහ.

1.සංඝ සමාජයේ අභිවෘද්ධිය

2.සංඝ සමාජයේ පහසුව

3.තක්‌කඩියන් මැඩීම

4.යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත

5.ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම

6.ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම

7.තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම

8.පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම

9.ආර්ය ධර්මයාගේ චිරජීවනය

10.විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම


දැහැමින් ලද සිව්පසය, ප්‍රයෝජන වශයෙන්, ධාතු වශයෙන්, ප්‍රතික්‌කූල වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කිරීම 'ප්‍රත්‍යය සන්නිශ්‍රීත සීලය' වශයෙන් හැඳින්වෙයි. සියල්ල අත්හැර සසරින් එතෙරවීම පරමාර්ථ කොටගත් පැවිද්දා විසින් ඉහත සඳහන් සතර සංවර සීලය මැනවින් සුරැකිය යුතු වෙයි. ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රක්‌නා කිරල් දෙන මෙන්, ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රකිනා සෙමර මුවා මෙන්, එකම පුතෙකු සිටින මවක්‌ එම පුතු රකිනා සෙයින්, එක්‌ ඇසක්‌ ඇති අයෙක්‌ එම ඇස රකිනා සෙයින් සිල් රැකිය යුතු බව බුදුහිමියෝ පෙන්වා වදාළහ.


උපසම්පදා භික්‌ෂුවක්‌ යනු අධි සීලයට පත් උතුමෙකි. අනේක විධ ශික්‌ෂා පද ඇති උපසම්පදාව බොහෝ ආනිසංස ලැබෙන සීලයක්‌ වශයෙන් ද සැලකිය හැකිය. සීලය පිළිබඳ නොදන්නා උපසම්පදා භික්‌ෂුව තමන් රැකිය යුතු උපසම්පදාව රැකීමට අසමත් වෙයි. ඒ නිසාම හෙතෙම සීලයෙන් පිරිහෙයි. ඇතැම් විට පරාජිකාපත්තියට පැමිණීමෙන් යළි යථා තත්ත්වයට පත් නොකළ හැකි අයුරෙන් පිරිහී යන්නේය. උපසම්පදාවේ ජීවය නොහොත් හරය වන්නේ පාරාජිකාවන්ගෙන් වැලකී විසීමයි.


විනය නොදත් භික්‌ෂුව ශික්‌ෂා පද ගැන සැලකිලිමත් නොමැතිකමෙන් පාරාජිකාපත්තියට පැමිණිය හැකිය. යම් හෙයකින් නොදැනීමෙන් හෝ පාරාජිකාපත්තියට පත් වුවහොත් එම භික්‌ෂුවගේ උපසම්පදාව අහෝසි වෙයි. නොදැන සිදුවුවද පාරාජිකාව පාරාජිකාවක්‌මය. එයට කිසිදු ප්‍රතිකර්මයක්‌ නැත. යම් හෙයකින් පාරාජිකාපත්තියට පත් වුවහොත් නැවත ඔහුට උපසම්පදාව ලැබිය නොහැක. ඔහුට ඉතිරිවන්නේ ශ්‍රමණ වේශය පමණි. ඔහුට සාමණේරයකු වශයෙන් සිටිය හැක. එසේ නොමැති නම් උපැවිදි විය හැක. පාරාජිකා බවට පත්වීමෙන් පසු ඒ බව සඟවාගෙන, උපසම්පදා භික්‌ෂුවක්‌ වශයෙන් සංඝයා අතර සිටිමින්, විනය කර්මවලට සහභාගිවීම, සඟ සතු පන්සල් සෙනසුන් පරිභෝග කිරීම, සඟසතු භාණ්‌ඩ පරිහරණය කිරීම, සාංඝිකව ලැබෙන කොටස්‌ භුක්‌ති විඳීම බරපතළ වරදකි. තමන්ට අයිති නැති දෙය පරිභෝග කිරීම නිසා හෙතෙම සොරකු බවට පත්වෙයි.


උපසම්පදා භික්‌ෂුන් වහන්සේට බලපාන පාරාජිකා සතරක්‌ ඇත. සාමණේරයන් වහන්සේලාට පාරාජිකා දහයක්‌ ඇත. 

01.ප්‍රාණ ඝාතය, 

02.අදත්තාදානය, 

03.මෛථුන සේවනය, 

04.බොරු කීම, 

05.මද්‍ය පානය, 

06/07/08.බුදුන්, දහම්, සඟුන්ගේ අගුණ කීම, 

09.මිසදිටු බව, 

10.භික්‌ෂුණියන් දූෂණය කිරීම 

යන කරුණු දහය එම පාරාජිකාවෝ වෙති. මෙම ශික්‌ෂා පද කඩාගන්නා සාමණේරයාගේ සරණාගමනය පටන් සියලු ශික්‌ෂා පද බිඳී යයි. ඔහුට ඉතිරිවන්නේ ශ්‍රමණ රූපය පමණකි. ඔහු වැරැදි පිළිගෙන නැවත පැවිද්ද ඉල්ලන්නේ නැවත පැවිදි කළ යුතුය. ඔහු යළි යළිත් වැරැදි කරන්නේ නම් සංඝයාගේ කැමැත්ත පරිදි නැවතත් පැවිදි බව ලබා දිය හැකිය. මිසදිටු අදහස්‌ ඇත්නම් එසේ නොකරන ලෙස අවවාද කළ යුතුය. එම අදහස්‌ අත් නොහරින්නේ නම් සිවුරු හරවා බැහැර කළ යුතුය. භික්‌ෂුණි දූෂණය බරපතළ වරදකි. එය කළ සාමණේරයාට නැවත පැවිද්ද හෝ උපසම්පදාව නොලැබිය හැකිය. පාරාජිකා වීම යනු පැවිද්දෙක්‌ පහ කළ යුතු තත්ත්වයට පත්වීමයි.


උපසම්පදා භික්‌ෂුවකට කෝටියන් සංවර සීලය ඇතත්, ඒ සියල්ල අතරෙන් සතර පාරාජිකා වනාහී ශීර්ෂය සමාන වෙයි. සත්ත්වයකුගේ හිස කඳින් වෙන් වුවහොත් එයින් මරණයට පත්වී ජීවිතය අවසන් වෙයි. එමෙන්ම යම් උපසම්පදා භික්‌ෂුවක්‌ පාරාජිකාවට පත්වෙයි නම් ඔහුගේ උපසම්පදාව නිමාවට පත්වෙයි. හිස සුන් අයකුට නැවත ජීවිතය නොදිය හැකි මෙන් පාරාජිකා වූවකුට නැවත උපසම්පදා විය නොහැක. පාරාජිකා හැර අනෙකුත් ඇවැත්වලට පත් වුවද උපසම්පදාව අහෝසි නොවෙයි. ඔහුට විනය කර්මවලට සහභාගිවීමේ අයිතිය මෙන්ම සඟ සතු දේපළ පරිහරණය කිරීමේ අයිතියද, සංඝ ලාභ භුක්‌ති විඳීමේ අයිතියද අහිමි නොවේ. අනෙක්‌ ඇවැත් සිදුවුවහොත් ඇවැත් දෙසීම් ආදී විනය කර්ම මගින් පිරිසිදු විය හැකි වුවත්. පාරාජිකා වීමකදී කිසිදු ප්‍රතිකර්මක්‌ නැත.මෙහි ඇති බරපතළ බව නිසාම භික්‌ෂුවක්‌ උපසම්පදා වන අවස්‌ථාවේම සතර පාරාජිකාව පිළිබඳ කියාදීමට විනය නීතියක්‌ පනවා තිබෙන බව 'මහාවග්ග පාලියෙහි' සඳහන් වෙයි.


සතර පාරාජිකා


1. මෙථුන ධම්ම පාරාජිකා (Parajika Rule of sexual indualgence)


2 අදත්තාදාන පාරාජිකා (Parajika Rule of talking by means of theft what is not given)


3 මනුස්‌ස විග්ගහ පාරාජිකා (Parajika Rule of international killing of a human being)


4 උත්තරී මනුස්‌ස පාරාජිකා (Parajika Rule of false claim for supernatural powers)


ප්‍රථම පාරාජිකාව පිළිබඳ දිගු විස්‌තරයක්‌ කිරීම අපහසු වන්නේ එය ඇතැමකුට පිළිකුලක්‌ මෙන්ම, ඇතැමකුට කාමය ඇවිස්‌සීමක්‌, සිදුවන අසභ්‍ය කරුණු ඇතුළත් විය හැකි නිසාය. එබැවින් ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් යම් භික්‌ෂුවක්‌ විනයානුකූලව උපසම්පදාව ප්‍රතික්‌ෂේප නොකර, උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක්‌ වුවද මෛථුන සේවනයෙහි යෙදෙයි නම්, ඔහු පාරාජිකා බවට පත්වෙයි. ඔහු සිල්වත් භික්‌ෂුන් සමග සමාන වාසයට සුදුසු නැත. (දුබ්බල්‍යං අනාවිකත්වා මෛථුනං ධම්මං පතිසේවය අන්තමසො තිරච්ඡානගතායපි පාරාජිකෝ හොති අසංවාසො - (පාරාජිකා පාලි) පාරිජිකා නැවත 'සංඝාදිසේස ආපත්ති' දහ තුනකට බෙදා දක්‌වයි. එම සංඝාදිසේස මගින් කාන්තාවන් ඇසුරු කිරීමේදී සිල්පද බිඳී යන අයුරු මැනවින් පෙන්වා දෙයි.


යම් භික්‌ෂුවක්‌ අයිතිකරුවන් විසින් නොදුන් වස්‌තුවක්‌ සොර සිතින් ගනියි නම්, එවැනි සොරකමක්‌ නිසා රජයෙන් දඬුවම් ලබයි නම්, නුඹ සොරෙක්‌ය, මෝඩයෙක්‌ය, අන් සතු දෙය සඟවා ගන්නෙක්‌ය යනුවෙන් නින්දාවට පත් වන්නෙක්‌ නම් එබඳු සොරකම් කරන භික්‌ෂුව පාරාජිකා බවට පත්වෙයි. භික්‌ෂුන් සමග සංවාසයට සුදුස්‌සෙක්‌ නොවේ. මෛථුන සේවනය ගිහියන්ට තහනම් නැත. එහෙත් සොරකම ගිහි පැවිදි දෙපිසිරිසටම තහනම් වෙයි. සොර සිතින් තණපතක්‌ වුවද නොගත යුතුය. සොරකම සිදුවන ආකාර විසි පහක්‌ ඇත. එබැවින් මේවා පිළිබඳ සියුම් ලෙස දැනගෙන සිටීම පාරාජිකා නොවීමට හේතු කාරක වෙයි. 

01.නානාභණ්‌ඩ පංචකය, 

02.ඒකභණ්‌ඩ පංචකය, 

03.සාහත්ථික පංචකය, 

04.පුබ්බපයෝග පංචකය, 

05.ථෙයවහාර පංචකය 

යනුවෙන් වර්ග පහකටත්, ඒවා නැවත 

1.සාහත්ථිකාවහාරය, 

2.ආණත්තිකාවහාරය, 

3.නිස්‌සග්ගියාවහාරය, 

4.අත්ථසාධකාවහාරය, 

5.ධුරනික්‌ෙපවහාරය වශයෙන් කොටස්‌වලටත් බෙදා දක්‌වා ඇත.


තුන්වැනි පාරාජිකාව වශයෙන් දක්‌වා ඇත්තේ කිසියම් භික්‌ෂුවක්‌ මෙම මනුෂ්‍යයා මරමි යන අදහසින් මිනිසකු ඝාතනය කරයි නම්. මෙම ආයුධයෙන් ජීවිතය නසා ගනිත්වා යන අදහසින් ආයුධ තබයි නම්, මරණයෙහි ගුණ වර්ණනා කරයි නම්, මැරෙන ක්‍රම සහ විධි කියාදෙයි නම්, මරණය උතුම් දෙයකි ආදී වශයෙන් මරණයේ වටිනාකම පවසයි නම්. දිවි තොර කර ගැනීමේ වැදගත්කම පවසයි නම්, හෙතෙම පාරාජිකා බවට පත්වෙයි. මව් කුස හටගන්නා කලල රූපයක්‌ වුවද විනාශ කිරීමෙන් මෙම පාරාජිකාව සිදුවෙයි. ප්‍රාණඝාතය සිදුකරන ක්‍රම විනය පිටකයෙහි දක්‌වා ඇත. 


ඒ අනුව 

01.සාහත්ථිකපයෝග, 

02.ආණත්තිකපයෝගය, 

03.නිස්‌සග්ගියපයෝගය, 

04.ථාවරපයෝගය, 

05.විඡ්ජාමයපයෝගය, 

06.ඉද්ධිමයපයෝගය වශයෙන් ප්‍රයෝග හයක්‌ ඇත. 

ඒ අනුව 

* තම අතින් හෝ අවි ආයුධවලින් පහරදී මරණයට පත්කිරීම, 

* ගසා, කපා කොටා, මරණ ලෙස වෙනත් අයෙක්‌ යෙදවීම, 

* දුර සිටින අයකු මැරීමට ගල්, වෙඩි උණ්‌ඩ, බෝම්බ වැනි දෙය මුදාහැරීම, 

* මැරීමට බොරු වළවල් කැණීම, උගුල් ඇටවීම, 

* හදි හූනියම් ආදී ගුරුකම් කිරීම, 

* තමන් සතු සෘදි බලය මිනිසුන් ඝාතනයට යෙදවීම 

යන කරුණුවලින් කුමන අයුරින් ඝාතනයක්‌ සිදුකළ ද හෙතෙම පාරාජිකා බවට පත් වෙයි. ඇතැම් භික්‌ෂුන් මිනී මැරීමට අලුඝෝසුවන් වීමට පවා උත්සාහ කරන බව අසන්නට ලැබෙයි. මෙවැනි ප්‍රකාශ උපසම්පදා භික්‌ෂුවකට කෙතෙක්‌ දුරට සුදුසුද යන්න විමසා බැලිය යුතුය.


සතර වැනි පාරාජිකාව වශයෙන් සැලකෙන්නේ යම්කිසි භික්‌ෂුවක්‌ කෙලෙස්‌ නැතිකරන, පිරිසිදු ඥනය ඇති බුදුපසේ බුදු , මහ රහත් කියන ආර්ය උතුමන් ලබා ඇති එම මග ඵල තමන් නොලබා, ඒවා තමන් තුළ ඇතැයි ලාභ ප්‍රයෝජන ලැබීමේ අදහසින් ප්‍රකාශ කරයි නම්, එබඳු භික්‌ෂුව පාරාජිකාපත්තියට පත්වෙයි. 

01.රූපාවචර ධ්‍යාන පහ, 

02.අරූපාවචර ධ්‍යාන හතර, 

03.ලෝකෝත්තර මාර්ග හතර, 

04.ලෝකෝත්තර ඵල හතර, 

05.ත්‍රිවිද්‍යා, 

06.අෂ්ට විද්‍යා, 

07.නීවරණ නැති බව යන මේවා 'උත්තරිමනුස්‌සධම්ම' වශයෙන් සැලකෙයි. 


ඇතැම් භිකෂුහු මේවා තමන්ට ඇතැයි පවසති. ඒවා තමන් තුළ ඇත්නම් එසේ පැවැසීමෙහි වරදක්‌ නැත. එහෙත් ඒවා තමන් තුළ නැතිව, මිනිසුන් රැවටීමේ අදහසින් පවසයි නම් එකෙනෙහිම හෙතෙම පාරාජිකා බවට පත්වෙයි. ඔහු සමාන වාසයට සුදුසු පුද්ගලයකු නොවේ. මේ සතර පාරාජිකා පිළිබඳ කෙටි හැඳින්වීමකි. මේවා ඉතා සියුම්ව විග්‍රහ කළ යුතු කරුණු වෙයි. හොඳින් සීලය රැකීමට අදහස්‌ කරන, සිල්වත් ගුණවත් භික්‌ෂු ජීවිතයක්‌ ගත කිරීමට අදහස්‌ කරන, සියල් සසර දුක්‌ දුරු කර නිවන ලැබීමට අදහස්‌ කරන සියලු භික්‌ෂුන් විසින් සතර පාරාජිකා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු වෙති.


***** තෙරුවන් සරණයි !!! *****

No comments:

Post a Comment